පසුගිය ලිපියේදී අපි පදාර්ථයේ අසන්තතිත බව ගැන කතා කළා. එනම් පදාර්ථය හෙවත් සියලුම ද්‍රව්‍ය කුඩා අංශු සමූහයකින් හැදිලා තියෙන බව. දැන් අපි බලමු මේ පදාර්ථය සාමාන්‍යයෙන් පවතින ආකාරය ගැන. පදාර්ථය පවතින ආකාර 3ක් තියෙනවා. එනම් ඝන, ද්‍රව, වායු යන අවස්ථා.

කළුගල් කැබැල්ලක් අරගෙන බැලුවොත් ඒක ඉතාමත් දැඩියි. ඒ වුණාට ඒකත් අසන්තතිතයි. ඒ අනුව කළුගලක් වුණත් කුඩා කැබලි වලට කඩන්න පුළුවන්. හැබැයි අනිත් ඒවා වගේ නෙමේ, කළු ගල කඩන්න අමාරුයි. ඉතා වේගයෙන් තවත් එවැනිම ගලක හෝ දැඩි වස්තුවක ගැටීමෙන් අපිට ගල කඩා ගන්න පුළුවන්.  අර කලින් ලිපියේ කිව්වා මතක ඇතිනේ, ලුණු කැටයක් ජලයට දැම්මම ඉක්මනට ඒක දිය වෙලා යනවා කියලා. ඉතින් අපි ඒ විදියටම කළුගලකුත් දැම්මොත් ඒක ජලයේ දිය වෙයිද? වැඩිම වුණොත් ගල වටේ තියෙන දූවිලි තට්ටුව ජලය සමඟ මිශ්‍ර වේවි. එහෙනම් මේ ලුණු කැටයයි ගල් කැටයයි අතර වෙනසක් තියෙන බව පැහැදිලියි. 

හැබැයි මේ ද්‍රව්‍ය දෙකම අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වගේම මේ දෙකටම බරක්(හරියටම කිව්වොත් ස්කන්ධයක්) වගේම නිශ්චිත හැඩයක් තියෙනවා. හැබයි අපිට බාහිර බලපෑමක් මඟින් මේවාවල හැඩය වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පදාර්ථය පවතින අවස්ථාවක් තමයි. ඒ කියන්න නේ ඝන ද්‍රව්‍ය විදියට. අපේ මේ ඇස් දෙකට වැඩියෙන්ම පේන්නේ ඝන අවස්ථාවේ පවතින පදාර්ථ ගොඩක් තමා. ඒවා වලට නිශ්චිත හැඩයක්, ස්කන්ධයක්, පරිමාවක් තියෙනවා. 

දැන් අර කලින් කිව්ව අසන්තතිත සංකල්පය යොදාගෙන පදාර්ථය ඝන ලෙස පැවතීමට හේතුව විමසා බලමු. අංශු වල පිහීටම අනුව තමා මේ ඔක්කොම තීරණය වුණේ. අංශු එකිනෙක අතර ආකර්ශනය වැඩි වුණාම ඒවා එකිනෙක දැඩිව බැ‍‍ඳෙනවා. ඒ අනුව අර කළුගල ඉතාමත් ශක්තිමත් වුණා. ලුණු කැටයත් අර වගේම දැඩිව අංශු  එකිනෙක බැඳිලා තිබුණත් කළු ගල් කැබැල්ල තරම්ම දැඩිව බැඳිලා නෑ. ඒක නිසයි ලුණු කැටය ජලයේ දිය වෙලා ගියේ. ජල අංශු සමඟ ලුණු අංශු මිශ්‍ර වී ගියේ ලුණු කැටයේ අංශූ තරමක් ලිහිල්ව බැඳීලා තිබුණ නිසා. 

අපි ඊළගට ජලය පිරී බඳුනක් බලමු. මේ ජල කඳට එම හැඩය ලැබිලා තියෙන්නේ එම භාජනයෙන්. ඒ කියන්නේ මේ ද්‍රව වලට තනිවම හැඩයක් නිර්මාණය කරගැනීමට හැකියාවක් නෑ. ඒ කියන්නේ ඝන දුව්‍ය වලට වඩා අංශු අතර ආකර්ෂණය අඩුයි. එනම් අංශු එකිනෙකට තදින් බැඳිලා නෑ. ඒක නිසා අංශු වලට ගලා යාමේ හැකියාවක් ලැබිලා. නමුත් භාජනය නිසා එම ගලා යාමේ හැකියාව සීමා වෙලා.

ඊළඟට බලමු වායු ගැන. අපව අවට ඇති වායු පිළිබඳ අපිට එතරම් දැනෙන්නේ නෑ. මොකද මුළු වායුගෝලයම විවිධ වායූන්ගේ මිශ්‍රණයක් නිසා. අනික් අතට ගොඩක් වායු අවර්ණ නිසා අපිට ඒ ඒ වායුව වෙන් කර ගැනීමේ හැකියාවක් නෑ. වායු දිහා විමසලා බැලුවොත් ඒවා වල අංශු වල එකිනෙක අතර ආකර්ෂණය නැති තරම්. ඒක නිසා අපි ඒවාට නිදහස් අංශු කියලා හඳුන්වන්නත් පුළුවන්. වායු අංශු නිදහසේ අහඹු චලන දක්වනවා. ඒ නිසා නිශ්චිත හැඩයක්වත් පරිමාවක්වත් නෑ. යම් වායුවක් කුමන හෝ අවකාශයක් තුළ රඳවා තැබුවොත් එම අවකාශය පුරාම ‍එම වායු අංශු අහඹු ලෙස චලනය වෙමින් පවතිනවා. අංශු ඈතින් පිහිටන නිසා අපිට මේ අංශු එකිනෙකට ළං කිරීමට පහසුයි. ඒ කියන්නේ වායු සම්පීණ්ඩනය කළ හැකියි. නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව යොදාගෙන අපිට මේ වායු සම්පිණ්ඩනය ආදර්ශනය කරන්න පුළුවන්. නයිට්‍රජන් ඩයොක්සයිඩ් දුඹුරු පැහැති වායුවක්. ඉතින් සිරිංජයක් තුල එම වායුව සිර කරගෙන පිස්ටනය තෙරපීමෙන් සම්පිණ්ඩනය කරගන්න පුළුවන්. එතකොට සම්පිණ්ඩනය වැඩි වන විට දුඹුරු පැහැය වැඩි වේ. නැවත පිස්ටන මුල් අවස්ථාවට පත් කළ විට  ක්‍රම ක්‍රමයෙන් දුඹුරු පැහැය ලා වීගෙන යනවා.



ඉහත රෑපය අධ්‍යයනය කිරීමෙන් අපිට පුළුවන් ඝන(solid), ද්‍රව(liquid), වායු(gas) යන අවස්ථා වල අංශු පිහිටීම පිළිබඳව යම් අවබෝධයක් ලබාගන්න.

දැන් ඉහත කරුණු අපි සාරාංශ ගත කරලා මෙසේ කරුණු පෙළගස්වන්න පුළුවන්.
  •  ඝනයකට නියත පරිමාවක් ඇති අතර එය සම්පිණ්ඩනය කළ නොහැක. එනම් එහි අංශූන් එකිනෙක ඉතා සමීපව පිහිටා ඇත. ඝනයකට නියත හැඩයක් ඇත. එනම් එහි අංශූන්ට සාපේක්ෂ විස්ථාපනය සිදු කළ නොහැකිය. ඒ අනුව ඝනයක අංශු ඉතා දැඩිව බැඳී ඇති බව නිගමනය කළ හැක.      
  • ද්‍රවයකට නියත පරිමාවක් ඇත. එනම් එහි අංශූන් සමීපව පිහිටා ඇත. එහෙත් ද්‍රවයකට නියත හැඩයක් නැත. එනම් එහි අංශූන්ට සාපේක්ෂ විස්ථාපනය සිදු කළ හැක. ඒ අනුව අංශු එකිනෙක ඉතා දැඩිව බැඳී නොමැති බව පෙනේ
  •  වායුවකට නියත පරිමාවක් නැත. එනම් එහි අංශු එකිනෙක ඈත්ව පවතී. එසේම වායුවකට හැඩයක් නැත. එනම් වායු අංශූන්ට නිදහස්ව චලනය විය හැක. ඒ අනුව වායු අංශු දැඩිව බැඳී නොපවතී.

එහෙනම් දැනට ඇති. අපි ඊළඟ ලිපියෙන් බලමු මේ හඳුනානොගත් අංශූවට විශේෂ නමක් දෙන්න.



“මෙම ලිපිය ශිරෝෂන් රන්දික විසින් ලියන ලද ලිපියකි. ඔහුගේ අවසරය මත උපුටාගැනීම් සිදු විය යුතුයි” ‍
Copyrights © 2010 Shiroshan Randika All rights Reserved.

About the Author

Ali Bajwa
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facebook dolor quam, pretium eu placerat eu, semper et nunc. Nullam ut turpis dictum, luctus mi quis, luctus lorem. Nullam porttitor consectetur nunc in tempor!

Related Posts

8 comments:

  1. Dinindu De Silva11 June 2010 at 19:47

    එල මෙය කාලීන අවශයය තාවයක්. දිගටම ලියන්න.

    ReplyDelete
  2. එල එල හොදයි

    ReplyDelete
  3. අඩේ මේ තියෙන්නේ එලටම .....

    මේ පුද්ගලික පන්තියේ උගන්වන එව්වාද? නැත්නම් අන්තර්ජාලයෙන් හොය ගෙන එවා වඩා පැහැදිලිව ලියනවද?

    ReplyDelete
  4. @Dinindu De Silva
    අනිවා! ස්තූතියි සුපුරුදු කමෙන්ටුවට!

    @A.N.R
    බොහොම ස්තූතියි සහෝ!

    @වැප්
    පුද්ගලික පංතිම කියලා නෑ. හැමතැනින්ම ඉගෙන ගත්ත දේවල් මට තේරුණ විදියට මගේම උදාහරණ අනුව තමා ලියන්නේ. එහෙම නැතුව අනුන්ගේ කටින් පිටවුණ දේම මෙතැන දාලා වැඩක් නෑනේ. ඒක හින්දා මම ගුරුවරයෙක් කියලා හිතාගෙන මගේම වචනයෙන් ලියනවා.
    බොහොම ස්තූතියි කමෙන්ටුවට සහෝ!

    ReplyDelete
  5. this is really helpful brother. good work, keep it up.. this flashed back me to my school days..

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. ස්තූතියි කසුන්.

      Delete
  6. sure u ar like to be a teacher

    ReplyDelete

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.