Latest Posts

Cosmos - කාල අවකාශයේ චාරිකාව ඇරඹුණා


"Cosmos: A SpaceTime Odyssey" යනු 2014 මාර්තු දහසය වැනි දින රාත්‍රී 8.00ට නැෂනල් ජියෝග්‍රැෆික් නාළිකාව (National Geographic Channel)  ඔස්සේ විකාශය ඇරඹුණු නවතම වාර්තාමය වැඩසටහනයි. "කොස්මස්: කාලාවකාශයේ චාරිකාව" නමින් සිංහලෙන් හැඳින්විය හැකි මෙම වැඩසටහන් මාලාව විශ්වය එසේත් නොමැතිනම් සොබාදහමේ හැසිරීම අපූරුවට රූපවාහිනි තිරය මත සිත්තම් කරයි. මෙම වැඩසටහන මෙහෙයවන්නේ ඇමරිකානු තාරකා භෞතික විද්‍යාඥයෙකු වන නීල් දග්‍රේස් ටයිසන් විසින්. විශ්වයේ එක් එක් අවදීන් මෙන්ම මෙතෙක් ඔබ නුදුටු විද්‍යාවේ අපූර්වත්වය සජීවී අයුරින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට මෙම වැඩසටහන් පෙළ සමත් වෙයි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා.


කොස්මස් ඉදිරි වැඩසටහන් පෙළගැස්ම නැට්ජියෝ වෙබ් අඩවියෙන් බලාගත හැකියි. නැෂනල් ජියෝග්‍රැෆික් නාළිකාව ඩයලොග් ටීවී හි චැනල් අංක 39 ඔස්සේද පියෝ ටීවී හි චැනල් අංක 50 ඔස්සේද ඔබට නැරඹිය හැකිය. ෴


ඔත්තේ සහ ඉරට්ටේ

ඔත්තේ (Odd) සහ ඉරට්ටේ (Even) සංඛ්‍යා යනු බොහෝ විට ගණිතය හැදෑරීමේදී ඉගෙන ගන්නා මුල්ම සංඛ්‍යා වර්ගීකරණය. මෙහිදී දෙකෙන් බෙදීම යන කරුණ මත ‍සියළුම ගණින සංඛ්‍යා කොටස් 2කට වර්ග කෙරේ. 

ඔත්තේ සහ ඉරට්ටේ දිනවලදී වාහන ගාල් කිරීම තහනම් යැයි දැක්වෙන පාලන සංඥාවක්

යම් නිඛිල (Integer) සංඛ්‍යාවක් 2 යන සංඛ්‍යාවෙන් බෙදූවිට ශේෂය ශුන්‍ය වේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. එසේ නොමැතිව ශේෂය ලෙස ශුන්‍යය නොලැබේනම් ඒවා ඔත්තේ සංඛ්‍යා වේ. අනෙක් විශේෂත්වය ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට සෑම විටම ශේෂය ලෙස ලැබෙනුයේ එකය.


ඔත්තේ සඳහා උදාහරණ: ....., -5, -3, -1, 1, 3, 5,  .....
ඉරට්ටේ සඳහා උදාහරණ: ......, -6. -4, -2, 0, 2, 4, 6, .....

0 ත් ඉරට්ටේද? මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමට අර්ථදැක්වීම (Definition) භාවිතා කල හැක. සියළුම ඉරට්ටේ සංඛ්‍යා 2හි ගුණාකාර වේ. එනම් 2 x 0 = 0 වේ. එහෙම බලනකොට 0ත් 2හි ගුණාකාරයක්. ඒක නිසා 0 ඉරට්ටේ සංඛාවක් විදියට සැලකීමට සිදු වෙනවා.

දැන් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා වලට අප දන්නා මූලිකම ගණිත කර්ම සතර වන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම යන ක්‍රියාවන්ට භාජනය කර බලමු. මෙතැන් සිට පහසුව තකා ඔත්තේ සංඛ්‍යාවක් 'ඔ' ලෙස ද ඉරට්ටේ සංඛ්‍යාවක් 'ඉ' ලෙසද සංකේතවත් කරමු. 'ඔ" සහ 'ඉ' ගැලපෙන සංඛ්‍යාවක් ආදේශ කර බැලීමට ඔබට නිදහස ඇත.

එකතු කිරීම (Addition)

  1. ඔ + ඔ = ඉ
  2. ඔ + ඉ = ඔ
  3. ඉ + ඔ = ඔ
  4. ඉ + ඉ = ඉ


ඒ අනුව පැහැදිලි වෙනවා සමාන වර්ග එකතු කිරීමෙන් ඉරට්ටේද අසමාන වර්ග එකතු කිරීමේන් ඔත්තේද ලැබෙන බවයි.

දැන් මෙතැනදී අප එකවර එකතු කලේ සංඛ්‍යා‍ 2ක් පමණයි. ඉතින් දැන් එකවර සංඛ්‍යා 2කට වඩා යොදාගෙන බලමු. අපි සංඛ්‍යාවන් එකතු කිරීම සිද්ධ කරන්නේ ක්‍රමානුකූලව බැවින් මෙතැනදීත් අපට ඉහත ප්‍රතිඵලම භාවිතා කරන්න වෙනවා. 

නමුත් පළමු ප්‍රතිඵලයට අඳාළව එකවර සංඛ්‍යා කීපයක් එකතු කරනකොට රටාවක් හදුනාගත හැක. එනම් එකවර එකතු කිරීමට ගන්න මුළු සංඛ්‍යා ගණන n ලෙස ගනිමු. එතකොට n ඔත්තේ වන විට ප්‍රතිඵලය ලෙස ලැබෙන සංඛ්‍යෘව ඔත්තේද n ඉරට්ටේ වන විට ප්‍රතිඵලය ලෙස ලැබෙන සංඛ්‍යාව ඉරට්ටේද වෙයි.

අඩුකිරීම (subtraction)

  1. ඔ - ඔ = ඉ
  2. ඔ - ඉ = ඔ
  3. ඉ - ඔ = ඔ
  4. ඉ - ඉ = ඉ

මෙහිදීත් එකතු කිරීමේ රටාවම ලැබෙන බව පැහැදිලියි.

ගුණ කිරී‍ම (Multiplication)

  1. ඔ x ඔ = ඔ
  2. ඔ x ඉ = ඉ
  3. ඉ x ඔ = ඉ
  4. ඉ x ඉ = ඉ
ගුණ කිරීමේදී ලැබෙන්නේ මෙහෙමයි. මෙහිදීත් අවශ්‍යනම් එකවර සංඛ්‍යා කීපයක් ගුණ කරලා බලන්න පුළුවන්. 

බෙදීම (Division)

බෙදීමේදි ඉහත ආකාරයට ප්‍රතිඵල ලබාගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. සමහර සංඛ්‍යා බෙදීමේදි දශම අගයන්, පරිමේය නොවන තත්වයන් ඇති වෙනවා. එතකොට ඒවා ඉරට්ටේද ඔත්තේද යන්න නිර්ණය කල නොහැකි තත්වයක් ඇති වෙනවා. මන්ද ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යා වලංගු වන්නේ නිඛිල හෙවත් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා සඳහා පමණි.

අවසාන වශයෙන් ඉරට්ටේ සහ ඔත්තේ සඳහා ගණිතමය අර්ථදැක්වීම් ලබාදෙමු.

ඉ = {2k ; k යනු නිඛිලයකි} 
ඔ = {2k+1 ; k යනු නිඛිලයකි}

ඉහත සාකච්ඡාවට බදුන් වූ කරුණු විශේෂයෙන් යම් ගණනය කිරීමකදී අවසාන ප්‍රතිපලය කල් තියාම ඔත්තේද ඉරට්ටේද යන්න තහවුරු කරගැනීමට ප්‍රයෝජනවත් වෙනවා.෴



කෘත්‍රිම චන්ද්‍රිකා

සිංහල බසින් නම් චන්ද්‍රිකාව යනු පරිවාර ග්‍රහයා යන අර්ථයයි. නමුත් ඒ ස්වාභාවික චන්ද්‍රිකා වේ. මීට අවුරුදු ගණනකට පෙර කෘත්‍රිම චන්ද්‍රිකා කරළියට පැමිණියේය. කෘත්‍රිම චන්ද්‍රිකා තවදුරටත් අපට නුහුරු දෙයක් නොවේ. ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව වන “ස්පුට්නික්-1” 1957 වසරේදී සෝවියට් දේශයෙන් ගුවන් ගත කෙරිණි. එය අභ්‍යාවකාශයේ රැදෙමින් දවස් 22ක් පුරාවට “බීප්” සංඥා කිකුත් කළේය. එය අභ්‍යාවකාශ තරගයේ මුල්ම වෙඩිල්ලයි. ඉන්පසු සෝවියට් දේශය (වත්මන් රුසියාව) සහ ඇමරිකාව මෙහි ප්‍රධානතම තරගකරුවන් විය. 

ස්පුට්නික්-1
වර්තමානයේදී පෘථිවිය වටා මෙහෙයුම් කටයුතු වල යෙදෙන චන්ද්‍රිකා ගණන දහස ඉක්මවයි. එයින් වැඩිම ප්‍රමාණයක් එනම් 442ක් පමණ ඇමරිකා එක්සත් ජනපදය සතු වේ. චන්ද්‍රිකා 103ක් සතු රුසියාව දෙවැනි ස්ථානයේද චන්ද්‍රිකා 86ක් සතු චීනය තෙවැනි ස්ථානයේදී පසු වෙයි. (ඉහත කී තොරතුරු 2012.01.04 දිනට ගත් වාර්තාවක් ඇසුරෙනි) එම සියලු චන්ද්‍රිකා වලින් වැඩිම ප්‍රමාණයක් සන්නිවේදන කටයුතු ඉලක්කකොට දියත් කර ඇත.


කාර්යභාරය අනුව වර්ගීකරණය


මීට අමතරව තවත් රටවල් 50කට අධික ප්‍රමාණයකට කෘත්‍රිම චන්ද්‍රිකා දියත් කර ඇත. පෘථිවිය තරම් නොමැති වුවත් චන්ද්‍රයා, බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු ග්‍රහයන් සහ සූර්යයා වෙතද චන්ද්‍රිකා යවා ඇත.

සුප්‍රීම් සැට්-1 (ChinaSat 12) යනු චීනයට සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමකට සම අයිතිය ඇතිව 2012 වසරේදී චීනයේදී අභ්‍යාවකාශගත කරන ලද කෘත්‍රිම චන්ද්‍රිකාවකි. එම සමාගම 2016 වසරේදී සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට හිමිකම් කියන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කිරීමට චීනයට භාරදී ඇත. එය දැනට නම් කොට ඇත්තේ සුප්‍රීම් සැට්-2 යනුවෙනි.

1945දී ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන් තම “වයර්ලස් වර්ල්ඩ්” ලිපිය හරහා කෘත්‍රිම චන්ද්‍රිකා මඟින් සන්නිවේදන අවශ්‍යතා සපුරාගන්නා ආකාරය විස්තර කොට තිබුණි. ඔහු තවදුරටත් විස්තර කරමින් භූ ස්ථාවර චන්ද්‍රිකා 3ක් මගින් මුළු පෘථිවියම ආවරණය කරමින් සන්නවේදන කටයුතු කල හැකි බව පැවසීය.



කෘත්‍රිම චන්ද්‍රිකා ක්‍රම කිහිපයකට අනුව වර්ග කල හැකි වේ. භූ ස්ථාවර වන/නොවන බව අනුව චන්ද්‍රිකාවෙන් ඉටු කෙරෙන කාර්යය අනුව, කේන්ද්‍රගත කර ඇති වස්තුව අනුව සහ උන්නතාංශය අනුව ඒවා වර්ග කෙරේ. උන්නතාංශය හෙවත් පොළොවේ සිට ඇති දුර අනුව චන්ද්‍රිකා ප්‍රධාන වර්ග ත්‍රිත්වයකි. එනම් පහත පරිදි වේ.

  1. Low Earth orbit (LEO): පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 2000ක් ඇතුළතින් පිහිටන පරිදි කක්ෂ ගත කෙරේ.
  2. Medium Earth orbit (MEO): කිලෝමීටර 2000-35786 පරාසය තුල කක්ෂ ගත කෙරේ. 
  3. High Earth orbit (HEO): කිලෝමීටර 35786 එපිටින් කක්ෂ ගත කෙරේ.
භූ ස්ථාවර චන්ද්‍රිකාවක් පොළොවට සාපේක්ෂ නිශ්චල වේ.

කෘත්‍රිම චන්ද්‍රිකාවකට නියමිත ආයු කාලයක් පවතී. බොහෝ වේලාවට එහි ආයු කාලය වන්නේ සූර්ය ශක්තියෙන් ආරෝපණය වන බැටරියේ ආයුකාලයයි. එම ආයුකාලය අවසන් වීමට ආසන්න වූ විට එම චන්ද්‍රිකාවේ කාර්යභාරය සඳහා තවත් අලුත් චන්ද්‍රිකාවක් ස්ථාන ගත කෙරේ. මෙහිදී පැරණි චන්ද්‍රිකාව බොහෝ වේලාවට කසළ ගොඩක් සේ අභ්‍යාවකාශය තුලම අතහැර දැමේ. (පුපුරුවා හරින අවස්ථාද තිබේ) මෙසේ බලන විට පෘථිවිය වටාම නිරන්තරයෙන්  සැරි සරන කසළ ගොඩක් තිබේ. ෴

සුදු තිත් වලින් පෙනෙන්නේ අභ්‍යාවකාශ ගත කොට ඇති කෘත්‍රිම වස්තූන්ගේ ප්‍රමාණයයි.

ආශ්‍රිත මූලශ්‍ර:
  1. http://www.ucsusa.org/nuclear_weapons_and_global_security/space_weapons/technical_issues/ucs-satellite-database.html
  2. http://www.satellitedebris.net/whatsup/?p=67
  3. මෙහි සියළුම සේයාරූ වල අයිතිය අදාළ අයට හිමි විය යුතුයි.


තීරු සංකේත කියවනය (Barcode Reader)


බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය  භාවිතා කර යම් කිසි භාණ්ඩයක  විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර (Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.
තීරු සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය කෙරේ. මෙම කළු සහ සුදු ඉරි වල පළල අනුව 0 සිට 9 දක්වා අංක 10 අර්ථ දක්වනු ලැබේ.

තීරු සංකේත ස්කෑනරයක ප්‍රධාන කොටස් 4 කි.

ප්‍රදීපන පද්ධතිය (Illumination System)

මෙමගින් තීරු සංකේතයේ තීරු (කළු සහ සුදු කොටස්) ආලෝකමත් කරනු ලැබේ. මේ සදහා LED සහ ලේසර් කිරණ බහුලව යොදා ගැනේ.

සෙන්සරය (Sensor)

තීරු සංකේතය ආලෝකමත් වී පරාවර්තනය වන ආලෝක කිරණ ග්‍රහණය කර ගැනීමට සෙන්සරයන් භාවිතා කරයි. මෙය ආලෝකයට සංවේදී උපකරණයක් (Photo Detector) වන අතර ආලෝකයේ ඇති ෆෝටෝන (Photon) උරාගෙන ඉලෙක්ට්‍රෝන පිටකිරීම මගින් එම ආලෝකයේ තීව්‍රතාවට සමානුපාතිකව වෝලිටීයතාවයක් නිපදවයි. භෞතික විද්‍යාවේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ ඉතා වැදගත් යෙදීමක් ලෙස මෙය හැදින්විය හැක. මෙම වෝල්ටීයතාවය තීරු සංකේතයේ වැදී එන ආලෝකයට අනුරූපව ජනනය වේ. එනම් තීරු සංකේතය විචල්‍ය වෝල්ටියතාවයක් මගින් ප්‍රතිනිර්මාණය වේ.

පරිවර්තකය (Converter)

තීරු සංකේතය සංඛ්‍යාංක (Digital) දත්තයකි. නමුත් සෙන්සරයෙන් ලැබෙන්නේ මෙම සංඛ්‍යාංක දත්තයේ ප්‍රතිසම (Analog) සංඥාවක් නිසා නැවත ප්‍රතිසම සංඥාව සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කල යුතු වේ. මේ සදහා ප්‍රතිසම-සංඛ්‍යාංක (Analog to Digital) පරිවර්තකයක් භාවිතා වේ. A-D පර්වර්තකයක මූලික අංගය වනුයේ කාරකාත්මක වර්ධකය (Operational Amplifier) වේ. කාරකාත්මක වර්ධකයක් ලෙස මෙන්ම ස්විචයක් ලෙසද යොදාගත හැක. වර්ධකය සන්තෘප්ත අවස්ථාවේ (Saturation Mode) භාවිතා කල විට එය සංවෘත ස්විචයක් ලෙස ක්‍රියා කරයි. පරිවර්තකයක කාරකාත්මක වර්ධකය, සන්සන්දකයක් (Comparator) ලෙස ක්‍රියාකර, ප්‍රදාන ප්‍රතිසම සංඥාව, සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කරනු ලැබේ.

විකේතකය (Decoder)

තීරු සංකේතය සංඛ්‍යා වලට පෙරළීම විකේතකය මගින් සිදු කෙරේ. තීරු සංකේතයේ ඇති කළු සහ සුදු ඉරි වල ඝනකම මගින් 0 සිට 9 දක්වා ඉලක්කම් නිරූපණය වේ.




මෙහි එන සියළුම සේයාරූ සඳහා ඒවායේ මුල් අයිතිකරුවන්ට විශේෂ ස්තූතිය හිමිවිය යුතුයි.


APPGENZ වෙතින් ඇන්ඩ්‍රොයිඩ් RSS කියවනයක්

දැන් "විද්‍යාව" බ්ලොග් අඩවිය සඳහා ද ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් (App) නිර්මාණය වී තිබේ. ඒ අනුව ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම උපාංගයෙන් (Mobile Device) මෙම බ්ලොග් අඩවිය බාධාවකින් තොරව කියවීමට අවස්ථාව උදා වේ. අවශ්‍ය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් 2.2 ට ඉහල වෙළුමක (Version) මෙහෙයුම් පද්ධතියක් (OS) ස්ථාපිතව තිබීම පමණි. මෙහි ඇති විශේෂිත වාසි වනුයේ වෙබ් අඩවිය නැරඹිමට වැයවන දත්ත ප්‍රමාණය අවම වීම සහ සිංහල අක්ෂර මැනවින් දර්ශනය (Rendering) වීමයි. පහත පිංතූරය ක්ලික් කිරීමෙන් "විද්‍යාව" ඇන්ඩ්‍රොයිඩ් යෙදුම ලබාගත හැක.



තවද මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම භාෂා ලංකා සමාගමේ ඇප්ජෙන්ස් (AppGenz) සේවාව උපයෝගි කරගෙන නිර්මාණය කර ඇත. ඕනෑම කෙනෙකුට ඇප්ජෙන්ස් වෙබ් අඩවියට පිවිස තම වෙබ් අඩවියේ RSS ලිපිනය ලබා දී අවශ්‍ය ආකෘතිය ලබා දුන් විට ස්වයංක්‍රීයව මෘදුකාංගය ජනනය (Generate) වේ. ඉන්පසු මෘදුකාංගය .apk මාදිලියෙන් සහ ගූගල් ප්ලේ (Google Play Store) වෙතද එක් කර ගත හැක. මෙය නොමිලේ ලබා දෙන සේවාවක් වන අතර දිනපතා භාවිතා කරන පිරිස ස්ථාවර තත්වයකට පැමිණි පසු අවශ්‍ය නම් දැන්වීම්කරණය මඟින් අමතර ආදායමක්ද උපයා ගත හැක. වැඩිදුර විස්තර දැනගැනීමට මෙතනින් පිවිසෙන්න. ෴


ලෝක විනාශය (අවසාන කොටස)

"ජනාධිපතිතුමනි මම දන්නවා ඔබතුමා ඉන්නේ කණගාටුවෙන් කියලා. නමුත් මහාචාර්ය X ට ඔබව හමුවෙන්න අවශ්‍යයිලු. මම මෙහාට එවන්නද?" ඇමරිකානු ජනාධිපති වරයාගේ පෞද්ගලික ලේකම්වරයා විමසුවේය.

සිය එකම පුතුගේ හදිසි වියෝවෙන් අතිශය ශෝකීව වෙසෙන මේ ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළේය.

"ජනාධිපතිතුමනි, මේක ඇත්ත වශයෙන්ම කණගාටුදායක අවස්ථාවක් මේ පෘථිවි තලයේ සිදුවූ තවත් එක් මරණයක්. පෙම්වතියගේ වෙන්වීමෙන් ඇති වූ ප්‍රිය විප්පයෝගයේ තවත් ප්‍රතිඵලයක්." ඔහු කීවේය.

ජනාධිපතිවරයා ඉවත බලාගෙන සිටියේය.

"ඇත්තෙන්ම ජනාධිපතිතුමනි, දැන් ඔබතුමාට වැටහෙනවානේ මේ ලෝකේ ජීවත් වෙන එක දුකක් කියලා. ඉතින් ඇයි අපි තවත් බලාගෙන ඉන්නේ. මම අවස්ථාවාදිව කතා කරනවා නෙවෙයි. ඔබතුමාට සත්‍ය වටහලා දෙන්න උත්සහ කරනවා. ඔබතුමා තේරුම් ගන්න. අපි මේ ගෙවන්නේ අප්‍රමාණ දුකක්."

"ඔබ හරි මට මේ දුක දරාගන්න බැහැ. ඔබ ඔය කියන විනාශය නිසා අපේ දුක් නැති වෙනවා කියලා ඔබ උපකල්පනය කරනවා විතරනේ. ඒක සත්‍යමයි කියලා ඔබ කියන්නේ නැහැ නේද?"

"මේකයි ජනාධිපතිතුමනි, මම කියන්නේ පෘථිවිය විනාශ වුනොත් විශ්වයේ වෙන තැනක ජීවය ඇති වීමේ හැකියාවක් නැහැ කියලයි. ඒක විද්‍යාත්මකව ඔප්පු වෙලා ඉවරයිනේ. අන්න ඒකයි මම කියන්නේ. අපි විනාශ වෙමු කියලා."

"ප්‍රොෆෙසර්, මම ක්‍රිස්තියානි ආගම අදහනවා. ඒකට ගරු කරනවා. ඔබ දන්නවා ඇතිනේ අපේ ප්‍රධාන පරමාර්ථය දෙවියන් වහන්සේ වෙත යාම. බෞද්ධ දර්ශනේ අනුවනම් නිර්වාණය. නමුත් ඔය දෙකින් එකක්වත් විනාශෙන් වෙන්නේ නැහැනේ"

"ඒක ඔප්පු කරන එක මටවත් කරන්න බැහැ කියලා මම පිළිගන්නවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේ විනාශය නිසා අපේ මේ තියෙන ඒකාකාරී වූ දුක්වලින් මිදෙන්න පුවවන් වෙයි කියලා."

"හොදයි එහෙම නොවුනොත්?"

"එහෙම නොවෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ක්‍රිස්තියානි ආගමේ කියන විදියට දෙවියන් වහන්සේ වෙත යාමත් බුදු දහමේ එන දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, ප්‍රේතලෝක වගේ ලෝකවලට යාමත් ඒ ඒ පුද්ගලයා කරපු හොඳ නරක අනුවනේ රඳා පවතින්නේ. ඉතින් ඔබ කවදා හරි ඔබ මැරුණහම ඔබ කරලා තියෙන හොඳ නරක අනුව ඔබවත්, මම කරලා තියෙන හොඳ නරක අනුව මාවත් ඒ ඒ තැන්වල උපදීවි. ඔය දේනේ අපේ ආගම්වල කියලා තියෙන්නේ. මම හදන්නේ ඒ කටයුත්ත ඉක්මන් කරන්න. මොකද අපිට කවදා හරි ඒ දේ අත්විදින්න සිද්ද වෙනවා නම් ඒක ඉක්මනින්ම ලබාගත්තහම මොකද වෙන්නේ කියලයි. මම අහන්නේ?"

"ඒ කතාව ඇත්ත තමයි. නමුත් ඉතින්, මේ විශ්වයේ අපි නොදන්න තව ලෝකයක මේ වගේ ආත්මයක්ම ලබාගෙන අපි උපන්නොත්......."

"ඒත් ප්‍රශ්නයක් නෑ. අපි මේ පෘථිවිය කියල ලෝකය තුළ මෙච්චර කාලයක් ජීවත් වුණානම් ඇයි අපිට ඒ ලෝකෙකදී එහෙම ඉන්න බැරි. අපේ මේ සංසාර ගමනේ තවත් එක් නැවතුමක් විතරක් වේවි ඒක.

"ජනධිපතිවරයා හිස සැලීය. "මම එකඟයි." ඔහු කිවේය. 

සෑහෙන කාලයක් තිස්සේ ලොව ප්‍රබලම රට ලෙස පැවති මේ මොහොත දක්වාම එසේ පැවතියා වූ ඇමරිකාව නම් රටේ බලවත්ම පුද්ගලයා ද, අවසානයේ ඒ මානුෂිකද අමානුෂිකද යැයි හරිහැටි නොදත් විනාශයට එකඟ විය. ඔහුගේ අණ ක්‍රියාත්මක විය. තමනුත් විනාශයට පත්වන අතිවිශාල පරමාණු බෝම්බ මිනිසුන් අතින් නිපදවිණි.

මුලදී වවිධ රටවලින් මේ සඳහා බලපෑම් එල්ල වූවත්, ඇමරිකානු නායකයා තම හැඟීම් වලට වහල්වී කටයුතු කරනවායැයි තර්ජනය කළත් මහාචාර්ය Xගේ දේශනා වලට සවන් දුන් රාජ්‍යනායකයෝ අවසානයේදී මෙයට එකඟ වූහ.

"ලියනාඩෝ මේ අහපන්. දැන් මේ මුළු ලෝකයම ආයිත් කවදාවත් ජීවයක් ඇති නොවන ආකාරයට විනාශ කරන එක උඹට තියා උඹලගේ පැත්තට කතා කරන කාටවත් නතර කරන්න බැහැ. ඒක නිසා අපි දෙන්නගේ මේ අවරුදු 20 ක යාළුකම අපි දෙන්නා වෙන්වෙන මොහොතෙත් තියාගමු. මේ මුළු ලෝකයම දැන් සියළු තරහ මරහ අමතක කරලා සන්තෝසෙන් ඉන්න වෙලාවේ ඇයි උඹයි මායි වෙන්වෙලා. ප්ලීස් යාළුවා අපි ආයි එකතුවෙමු." ෆ්‍රෑන්ක් දුර රටක සිට තම මිතුරා අමතමින් පැවසීය.

ලියනාඩෝ කිසිත් නොකියා දුරකථනය විසන්ධි කලේය. විනාශයට කැමති සියල්ලෝම සිය අවසානය ළගාවන තෙක් බලා සිටියහ. තව දුටත් ඔවුන් අතර උස් පහත් භේද නොතිබුනි. ඒ බහුතරයකගේ හැටිය. තවත් සුළුතරයක් ජීවත් වන ඒ සුළු කාලය තුළදීත් අනෙකුන්ට වඩා වැඩියෙන් සැප විදින්නටත් අනෙකුන්ට වඩා මඳක් ඉහළින් සිටීමටත් උත්සහ කරනු පෙ‍නුණි."

අවසානයේදී ලොව තිබූ සියළුම විකිරණශීලි මූලද්‍රව්‍යත් පුපුරණ ද්‍රව්‍යත් යොදා ගනිමින් තැනූ අතිවිශාල පරමාණු බෝම්බය නිපදවිණි. මෙය පුපුරා යාමෙන් පෘථිවිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවෙනු ඇත. යළිත් කිසිදාක ජීවයක් ඇති නොවන ලෙස විනාශ වනු ඇත.

සියල්ල සූදානම්ය. බෝම්බය නිපද වූ විද්වත්හූ අවසන් වරට තම නෑසියන් හමුවීමට ගියහ. බොම්බයේ දුරස්ථ පාලකය මේ ශ්‍රේෂ්ඨ වූද අතිශය බියගුළු වූද සංකල්පය ඉදිරිපත්කල ඒ මනුෂ්‍ය පුත්‍රයා අත විය.

★   ★   ★   ★   ★   ★   ★  ★

දළඳා මාළිගාව දෙදරා යන හඬින් බෙර වැයිණි. හේවිසි නලා හඬ හාත්පස සිසාරා ඇදී ගියේය. චිරාත්කාලයක් තම පණ දෙවැනි කොට රජවරුන් රැකගත් බෞද්ධ යැයි සම්මත වූ ලොව තිබූ එකම රටෙහි වූ මෙම අති පූජනීය වස්තුව සිල්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේත් බුද්ධ ධර්මය කෙරෙහි අමිල වූ විශ්වාසයක් සහිතව ජීවත් වූ ලෝකය ආරක්ෂා කර ගැනීමේ උදාර චේතනාවෙන් යුත් දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේත් සාධු නාදය මධයයේ මෙතෙක් කුමන කරුණක් සඳහාවත් තැන්පත් කර තිබූ ස්ථානයෙන් පිටතට නොගත් ඒ උතුම් වූ වස්තුව බුදුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා යන පරම අදිටනින් යුතුව වසර දහස් ගණනක් නිසලව තිබූ ස්ථානයෙන් නිසලතාව බිදිමින් සසල කරවීය. 


෴ නිමි. ෴

"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්‍රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. ISBN:955-97425-0-7.  Image credit : m.flikie.com.
ලෝක විනාශය (හතරවන කොටස)

"හාමුදුරුවනේ මේ මොකක්ද වෙන්නේ." අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණෝ මල්වතු හිමියන් අමතා ඇසූහ.

"මටත් මොකුත්ම හිතාගන්න අමාරුයි. මේක මෙච්චර දුරකට ව්‍යාප්ත වෙයි කියලා මම හිතුවේ නෑ. නමුත් දැන් තත්වේ හුඟක්ම භයානකයි. ඔබ වහන්සේ ජනාධිපතිතුමාට කතා කරලා බැලුවද?"

"එහෙමයි. එතුමා කියන්නේ දැනටමත් ලෝකෙන් භාගයක් විතර මිනිස්සු මේ දර්ශනේට එකඟ වෙලාලු. අපේ රටෙත් සෑහෙන්න පිරිසක් දැන් මේ මනුස්සයාගේ අනුගාමිකයෝ වෙලාලු. තව දුරටත් මේක මේ විදියට වර්ධනය වුනොත් අපිට කරගන්න දෙයක් නැතිවෙයි කියලා එතුමාගේ අදහස. අනිත් එක මට ආරංචියි අපේ සමහර භික්ෂූන් වහන්සේලාත් ඒ පැත්තට ගිහිල්ලා කියලා." අස්ගිරි හිමියෝ පැවසූහ.

"අනේ මම දන්නේ නැහැ හාමුදුරුවනේ මේ ලොකෙට මොනව වෙන්න යනවද කියලා. ඉන්දියාව නම් මේ දවස් වල හොඳටම වැටිලනේ තියෙන්නේ. ඇත්තෙන්ම ඒ රටේ මිනිස්සුන්ට නම් ජීවත් වෙන එක එපා වෙලා ඇති. ගොඩක්ම අමාරුවෙන් ජීවත් වන රටවල මිනිස්සු මේකට ගොඩක් කැමතියි. ඒක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් සාධාරණයි." මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝද සුසුම් හෙලමින් පැවසූහ.

"පාප් වහන්සේ නම් මේකට සෑහෙන්න විරුද්ධයි. නමුත් බහුතරයක් ක්‍රිස්තු භක්තිකයෝ එකඟයි. අරාබිකාරයොත් එහෙමයි. කොටසක් කැමතියි. කොටසක් කැමති නැහැ."

"අනිත් එක හාමාදුරුවනේ මේ මනුස්සයා ඉන්දියාවෙ ඉපදිලා ලංකාවේ හැදිලා වැඩිලා ඇමරිකාවේ ඉගෙනගෙන තියෙන්නේ. එහෙම මිනිහෙක් වෙලත්........." අස්ගිරි හිමයන්ට පැවසීමට හැකිවූයේ එපමණකි.

"හාමාදුරුවනේ ඔබ වහන්සේව මුණගැහෙන්න සුදු මහත්තයෙක් ඇවිත් ඉන්නවා." පන්සලේ විසූ සාමණේර හිමි නමක් එතැනට විත් පැවසීය.

"මෙහාට එන්න කියන්න."

"අවසරයි හාමුදුරුවනේ, මම ඇමරිකාවේ නොර්ත් වෙස්ටර්න් සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ලියනාඩෝ එස්. කැමරන්. මම ඔබතුමන්ලගේ ජනාධිපතිතුමා හමුවෙලයි ආවේ. එතුමයි කිව්වේ මේ ප්‍රශ්නය ගැන ඔබවහන්සේලා එක්ක සාකච්ඡා කරන්න නියලා." ලියනාඩෝ පැහැදිලි සිංහලෙන් ඇසීය.

මල්වතු හිමිපාණෝ ඔහු දෙස පූර්ණ බැල්මක් හෙළා "බොහොම සන්තෝෂයි මහත්මයා. අතනින් වාඩි වෙන්න. අපිත් දැන් මේ වෙලා තියෙන දේ ගැන තමයි සාකච්ඡා කරමින් සිටියේ." යැයි පැවසීය.

"ඇත්තටම හාමුදුරුවනේ මම ඇමරිකන් ජාතිකයෙන් වුනාට අදහන්නේ බුද්ධ ධර්මය. මම අවුරුදු 11 ක් ලංකාවේ ඉදලා බුද්ධාගම ඉගෙන ගත්තා. මම අද මෙහාට ආවේ අපේ රටෙයි අනෙක් බටහිර රටවලයි ඉන්න, මේ සිද්ද වෙන්න යන මහා විනාශයට විරුද්ධ මිනිසුන් වෙනුවෙන්. මේක බොහොම රහසිගත හමුවීමක්."

"ඔය මහත්තයා දැන් මොකක්ද කරන්න හදන්නේ?" අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ ඇසූහ.

"ඒකට කලින් මට දැන ගන්න ඕනේ හාමුදුරුවනේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන එක."

"මේකයි මහත්තයෝ, බුදුහාමුදුරුවෝ කියපු විදියට නිර්වානය ලබා ගන්න එක බොහොම දුෂ්කර නටයුත්තක්. ඒ සඳහා මුලින්ම කායික, වාවසික සංවරය තුලින් මූලික ශික්ෂණයක් සමඟ අධ්‍යාත්මික ගුණ රාශියක් ඇති කරගත යුතුයි. ඊට පස්සේ සිත දියුණු කරන්න ඕනෙ. ඒකට බුද්ධාගමේ සඳහන් වන පංචනීකරණ නැතිකරගන්න වෙනවා. ඊට පස්සේ සමථ භාවනාව වඩන්න ඕනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ප්‍රථම, ද්වීතීය, තෘතීයික හා චාතුර්ථ ධ්‍යාන ලබාගෙන ඉන් පස්සේ සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ග ඵල පසු කර ඊටත් පස්සේ තමයි ඔය කියන පහනක් නිවීයාම බඳුවූ නිවන ලබාගන්න පුළුවන්.


"ඒ විදියට බැලුවහම මේක මේ ක්ෂණිකව ලබාගන්න පුළුවන් දෙයක් නොවෙයි බොහොම කාලාන්තරයක් පෙරුම් පුරලා ඒ සඳහා වෙහෙසිලා ලබාගත යුතු දෙයක්. නමුත් ඉතින් මේ ලෝකෙ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට ඕනේ හැමදෙයක්ම බොහොම පහසුවෙන් ඉක්මනට ලබාගන්න. ඉතින් ඒ වගේ මිනිස්සු කොට්ඨාශයකට අර වගේ සදාකාලික මරණයක් වගේ කතා කිව්වම ඒවා විශ්වාස කරන්න පෙළඹෙනවා. අනිත් එක ඒ දේවල් බොහොම පැහැදිලිව නූතන විද්‍යාව මගින් ඔප්පු කරන්න ඒ පුද්ගලයා සමත් වෙලා තියනවනේ. ඉතින් පෘථග්ජන මිනිසුන් විදියට ඒක විශ්වාස කරන එක ස්වභාවිකයි.

"එතකොට ඔබවහන්සේ කියන්නේ, මේ මනුස්සයා කියන කතාව විශ්වාස කරන්න කියලද?" ලියනාඩෝ ඇසීය.

"නෑ මහත්මයා මම එහෙම කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙ කවුරුහරි කියන දෙයක් ඒ විදියටම පිළිගන්න එපා. ඒක තමාගේ සිතින් විමසා බලා සුදුසුනම් පිළිගන්න කියලනේ."

"එතකොට ඔබවහන්සේලා මේක පිළගන්නවද?"

"කවදාවත් නෑ මහත්තයෝ. අපට බුද්ධාගම, බුදුහාමුදුරුවෝ විශ්වාසයි." නායක හිමිවරු පැවසූහ.

"ඉතින් ඇයි ඔබවහන්සේලා මේකට කිසිවක් නොකරන්නේ?"

"අපට කරන්න දෙයක් නැහැ මහත්තයා. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් භාගෙකටත් වැඩිය දැන් මේ ධර්මය පිළිගන්නවනම් අපි විතරක් විරුද්ධ වීමෙන් පලක් නැහැනේ." මල්වතු හිමියෝ පැවසූහ.

"නෑ හාමුදුරුවනේ මේ ලෝකේ තව ගොඩක් මිනිස්සු මේකට විරුද්ධව. අපි එයාලවට එකතු වෙලා මේ කෲර මිනිස් ඝාතනය නවත්වන්න බලමු."

"මහත්තයා හොඳට හොයලා බැලුවොත් පෙනෙයි ඔය වැඩේට අකමැති මේ ලෝකෙ ඉන්න යමක් කමක් තියෙන සල්ලිකාර සල්ලි හම්බකරන්න කැමති පිරිසක් කියලා. එහෙම නැතිව කන්න නැතිව, අදින්න නැතිව, දහසක් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනාද මේ වැඩේට අකමැති කියලා."

"ඔබවහන්සේලා කියන්නේ අපි මේ කරන්න හදන දෙයින් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ කියලද?" ලියනාඩෝ ඇසීය.

"මම කියන්නේ මහත්තයො අපි අන්තිම මොහොත වන තෙක් බලමු. අපි දැන්මම මේකට තදින්ම විරුද්ධ වෙන්න ගියොත් සමහර විට යුද්දයක් පවා ඇති වෙන්න පුළුවන්." මල්වතු හිමයෝ පැවසූහ.

"ඒක ඇත්ත. අපි දැනට ඉවසමු. නැත්නම් අර මනුස්සයා කියන විදියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරලා ලෝකේ විනාශ කරන්න කලින් මිනිස්සු ඇන කොටාගෙන මැරෙයි."

"කොහොම උනත් මහත්තයෝ බුද්ධාගම අදහන කෙනෙක් විදියට බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේගේ බැල්ම..... ආශිර්වාදය හැමදාම මේ ලෝකෙට තියෙනවා. අවසාන මොහොතේ හරි මිනිස්සුන්ට සත්‍යය වැටහේවි. ෴

"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්‍රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. ISBN:955-97425-0-7. සේයාරුව  mythoughtsbornfromfire වෙතිනි.