ජීවය හදුනා ගැනිම – Introduction to Life

1. ජීවය අර්ථ දක්වන්න පුලුවන් කෙසේද?
2. ජීවය හදුනගන්නේ කෙසේද?


මේවා ඈත අතීතයේ සිටම මිනිස්සුන්ට තිබූ ප්‍රශ්න. නමුත් ජීවය යනු කුමක්ද යැයි සාර්ථකව අර්ථ දැක්වීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නැහැ.අපි එබැවින් එම ප්‍රශ්නයෙන් මිදී ජීවය හදුනාගන්නා ආකාරය පිළිබදව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

කුඩා කළ සිටම ජීවී සත්වයෙක් අජීවියෙකුගෙන් වෙන්කර හදුනාගැනීමට අප කාටත් පුලුවන්.නමුත් ඇතැම් අවස්ථාවලදී එය තරමක් සංකීර්ණ විය හැකියි.උදාහරණයක් ලෙස අප ශාකයක් ගත්විට එය සජිවී හෝ අජීවීදැයි හදුනාගැනීම තරමක් පැටලිලි සහගත කටයුත්තක්.එසේනම් ජීවීන් අජීවීන්ගෙන් වෙන් කර හදුනාගැනිමට අප යම් යම් විද්‍යාත්මක නිර්නායක භාවිතා කළ යුතුයි.

මෙම විද්‍යාත්මක නිර්නායක ජීවයේ මූලික ලක්ෂණ ලෙස හැදින්විය හැකියි.ඒවානම්

1. අනුවර්තනය

2. ක්‍රමවත් බව සහ සංවිධානය

3. පරිවෘත්තීය ක්‍රියා

4. ප්‍රතිචාර දැක්වීම

5. ප්‍රජනනය

6. චලනය

7. ආවේණිය

8. පරිණාමය

9. වර්ධනය සහ විකසනය

10. මරණය

ඇතැම් අවස්ථාවලදී අජීවීන්ද ජීවයේ මූලික ලක්ෂණ එකක් හෝ කීපයක් ප්‍රදර්ශනය කිරීමට පුලුවන්.උදාහරණයක් ලෙස ඛනිජ කැබැල්ලක් ගත් විට එය මනා ක්‍රමවත් බවකින් සහ සංවිධානයකින් යුතුව සෑදුන ස්ඵටිකයක් විය හැකියි.නමුත් එය අජීවී වස්තුවක්.

එබැවින් ජීවීන් ලෙස හැදින්වීමටනම්, යම් ජීවියෙක් ජීවයේ මූලික ලක්ෂණ සියල්ල පෙන්නුම් කළ යුතුයි.

දැන් අපි මෙම ජීවයේ මූලික ලක්ෂණ එකින් එක සාකච්ඡා කරමු.

1. අනුවර්තනය – Adaptation

සිය ජීවිතය පවත්වාගැනිමට සහ වර්ගයා බෝ කිරීම පිණිස අවට පරිසරයෙන් ද්‍රව්‍ය සහ ශක්තිය කාර්යක්ෂමව ලබාගැනීමට ජීවීන් විසින් ඇතිකරගන්නා ලද ව්‍යුහමය සහ කෘත්‍යමය වෙනස්වීම් අනුවර්තනය ලෙස හැදින්විය හැක.

මෙය වඩා සරලව පැවසුවොත් ජීවත් වන පරිසරය අනුව ජීවීන් විසින් තමාට සිදුකරගන්නා වෙනස්විම් ලෙසද දැක්විය හැකියි.

උදාහරණයක් ලෙස අප කවුරුත් දන්නා පළගැටියා හට ගසක කොළයක් වැනි ශරීර හැඩයක්ද, ගසක කොළයක වැනි හරිත පැහැයක්ද තිබේ.මෙම ව්‍යුහමය වෙනස්කම් නිසා තමා දිවි ගෙවන පරිසරයේ (ශාක පත්‍ර අතර) සැගවී නොනැසී දිවි ගෙවිමටත්, කාර්යක්ෂමව ආහාර ලබාගැනීමටත් ඌට පුලුවන්.

[caption id="attachment_39" align="aligncenter" width="300" caption="Cricket නැමැති කෘමියා"]Cricket නැමැති කෘමියා[/caption]

2. ක්‍රමවත් බව සහ සංවිධානය – Order & Organization


ජීවී ශරීර ඉතා හොද ක්‍රමවත් බවකින් සහ සංවිධානයකින් යුක්තයි.උදාහරණයක් ලෙස බහුසෛලික ජීවියෙක් ගත්විට

පරමාණු (atoms)

අණු (molecules)

ඉන්ද්‍රියිකා (organelles)

සෛල (cells)

පටක (tissues)

අවයව (organs)

පද්ධති (systems)

බහුසෛලික ජීවියා (multicellular organism)

ලෙස ක්‍රමාණුකූලව මනා සංවිධානයකින් යුක්තව ගොඩනැගී ඇත.

3. පරිවෘත්තීය ක්‍රියා – Metabolism

ජීවී සෛල තුළ සිදුවන ජෛවරසායනික ප්‍රතික්‍රියා මෙනමින් හදුන්වයි.මෙම ජෛවරසායනික ප්‍රතික්‍රියා (biochemical reactions) වර්ග දෙකකි

  • සංවෘත්තීය ක්‍රියා – anabolism


කුඩා සංඝටක අණු එකතු වී විශාල අණු සෑදීමේ ජෛවරසායනික ප්‍රතික්‍රියා මෙනමින් හැදින්වේ.උදාහරණයක් ලෙස කුඩා නියුක්ලියෝටයිඩ තැනුම් ඒකක එක්වී විශාල DNA අණුවක් සෑදීමේ ක්‍රියාවලිය සැලකිය හැකියි.

  • අපවෘත්තීය ක්‍රියා – catabolism


විශාල අණු කැඩී බිදී ගොස් කුඩා අණු සෑදීමේ ජෛවරසායනික ප්‍රතික්‍රියා මෙනමින් හැදින්වේ.උදාහරණයක් ලෙස විශාල ඇමයිලෝස් (පිෂ්ට) අණුවක් ජල විච්ඡේදනය වී කුඩා ග්ලූකෝස් අණු රාශියක් සෑදීමේ ක්‍රියාවලිය සැලකිය හැකියි

4. ප්‍රතිචාර දැක්වීම – Responsiveness

ජීවීන්ට බාහිර හෝ අභ්‍යන්තර පරිසර (දේහය තුළ) වල ඇතිවන විවිධ උත්තේජනයන් වලට ප්‍රතිචාර දැක්විය හැකිය.උදාහරණයක් ලෙස සත්ව ශරීරය තුළට වෛරසයක් ඇතුල් වූ විට ඊට විරුද්ධව ශරීරය මගින් වැඩි වැඩියෙන් වසා සෛල නිපදවීම දැක්විය හැකියි.

5. ප්‍රජනනය – Reproduction

ඕනෑම ජීවියෙක් සිය ජීවී විශේෂයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට නම් අලුත් ජීවීන් බිහිකළ යුතුයි.මෙම ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැදින්වේ.

ප්‍රජනනය ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකියි

  • අලිංගික ප්‍රජනනය – asexual reproduction


අංකුරණය වැනි, මාතෘ සහ පීතෘ සෛල සංසේචනයක් සිදු නොවන ප්‍රජනන ක්‍රියාවලියයි

  • ලිංගික ප්‍රජනනය – sexual reproduction


මාතෘ සෛල (ඩිම්බ) සහ පීතෘ සෛල (ශුක්‍රාණු) සංසේචනය මගින් සිදුවන ප්‍රජනන ක්‍රියාවලියයි.

[caption id="attachment_40" align="aligncenter" width="299" caption="ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එක්වීම"]ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එක්වීම[/caption]

6. චලනය – Movement


ජීවී සෛල හෝ ශරීර එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමේ ක්‍රියාවලියයි.මෙසේ ගමන් කිරීමට යම් උද්දීපනයක් සහ (බහුසෛලික ජීවියෙක් නම්) අවයව පද්ධති වල මනා සමායෝජනයක් අවශ්‍ය වන වේ.

උදාහරණයක් ලෙස Agrobacterium tumefaciens බැක්ටීරියාව ෆීනෝලික සංයෝග නිකුත් කරන ශාක කොටස් වෙතට ගමන් කිරීම දැක්විය හැකියි.

7. ආවේණිය – Heridity

ජීවීන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට සිය ජීවී තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය මෙනමින් හැදින්වේ.

මෙම ජීවී තොරතුරු ජාන ලෙස හැදින්විය හැකියි.ජාන DNA අණු මත පිහිටා ඇති නිසා DNA අණු ජීවී තොරතුරු ගබඩා ලෙස හදුන්වයි.

8. පරිණාමය – Evolution

කාලයත් සමග ජීවීන්ගේ සිදුවන ආවේණික තොරතුරු වෙනස්කම් (ජාන වෙනස්කම්) පරිණාමය ලෙස දැක්විය හැකියි.

පරිණාමය සිදුවීම නිසා කාලයත් සමග ජීවීන්ගේ ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී අවසානයේදී නවතම ජීවී විශේෂ නිර්මාණය වීම සිදුවේ.මෙය අපට එදිනෙදා ජීවිතයේදී නිරීක්ෂණය කළ නොහැක්කේ පරිණාමය යනු අවුරුදු මිලියන ගණන් වැයවන කටයුත්තක් නිසයි.

උදාහරනයක් ලෙස මානව පරිණාමය ගත්විට මෙය අදියර කීපයකින් ඉතා දිගු කාලයක් මුළුල්ලේ පැවත ආ ක්‍රියාවලියකි.

ඔස්ට්‍රලෝපිතිකස්

හෝමෝ ඉරෙක්ටස්

හෝමෝ හැබිලිස්

හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස්

හෝමෝ සේපියන්ස් සේපියන්ස් (නූතන මානවයා )

9. වර්ධනය සහ විකසනය – Growth & Development

වර්ධනය යනු ජීවී සෛල සහ අවයව වල සිදුවන ප්‍රමාණාත්මක විශාල වීමයි.උදාහරණයක් ලෙස සෛලයක සිදුවන ප්‍රමාණාත්මක විශාල වීම සැලකිය හැකියි.

විකසනය යනු නව සෛල වර්ග සහ ජීවී අවයව උත්පාදනය වීමයි.මෙය සිදුවන්නේ සෛල විභේදනය (cell differentiation) නම් ක්‍රියාවලිය මගිනි.උදාහරණයක් ලෙස කළලයක් බ්ලාස්ටුලා අවස්ථාවේ සිට ගැස්ටෘලා අවස්ථාවට එළඹීමේදී සිදුවන සෛල විභේදනය දැක්විය හැකියි.

10. මරණය – Death

මරණය යනු ජීවී ක්‍රියාවලි නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි වන පරිදි නැවතීමයි.ජීවී සෛල වල මරණය සිදුවන ප්‍රධාන ක්‍රම දෙකක් ඇත.

  • නෙක්රෝසිය – necrosis


තුවාල වීම්, රසායන ද්‍රව්‍ය ආදිය වැනි යම් බාහිර බලපෑමක් නිසා සිදුවන සෛල මරණය මෙනමින් හැදින්වේ.මෙහිදී සෛලයේ අභ්‍යන්තර ද්‍රව්‍ය බාහිරට කාන්දු වීමක් සිදුවන අතර එමගින් ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් (immunological response) ජනනය කරයි.

  • ඇපොප්ටෝසිය – apoptosis


යම් බාහිර බලපෑමක් නිසා හෝ ස්වභාවිකව සෛල මරණයට පත් වීමට මෙම ක්‍රමය අනුගමනය කරයි.මෙය නෙක්රෝසිය වැනි හදිසියේ සිදුවන සෛල මරණයක් නොව, කලින් සැලසුම් කළ ආකාරයට සෛලය මගින්ම සිදුකරගන්නා ස්වයං ඝාතක සෛල මරණයකි.එබැවින් Programmed Cell Death ලෙසද හැදින්වේ.

මෙහිදී සෛලයේ අභ්‍යන්තර ද්‍රව්‍ය බාහිරට කාන්දු වීමක් සිදු නොවන අතර එමනිසා ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ජනනය වීමක්ද සිදු නොවේ.

By Sachith Perera

Comments

  1. මෙම අඩවිය සමඟ සම්බන්ධ වීම ගැන මගේ ස්තූතිය ඔබට පිරිනමනවා. හොඳට ලියලා තියෙනවා. මා නොදත් කරුණු ගැනත් දැනගත්තා. ඉදිරියටත් හොඳ ලිපි ලියන්න. මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
  2. නියමයි! කියන්න වචන නැ. විද්යාහව.com වෙත අපගේ සුභ පැතුම්!

    ReplyDelete
  3. Comments දෙන්න බැරිවුනත්, ඉඩක් ලැබෙන හැමවෙලාවෙම කියවන බ්ලොග් අඩවියක්. පුලුවන් තරම් කරුණු සරල (ඕනෙ ගොනෙක්ට) කරන්න පුලුවන් නම් වඩා හොඳයි. (මම කියන්නෙ මේ Article එක ගැන නෙවෙයි. සමස්තයක් වශයෙන්. දැනටමත් එහෙම තමයි. ඒත් ටිකක් හිතේ තියාගන්න ඉදිරි ලිපි වලට) ඒ වගේම බ්ලොග් අඩවියේ අවම වශයෙන් දවසකට එක ලිපියක්වත් ලියවුනොත් අගෙයි. අගෙයි කියන්නෙ ඒක කියවන්නන්ට වටිනවා. ඔබට බලකිරීමක් නෙවෙයි.
    ජය වේවා!

    ReplyDelete
  4. ඔබ ඔය කිව්ව අදහස්ම මගේ හිතේත් තිබුණා. ස්තූතියි ඒවා නැවත මතක් කලාට. මගෙත් එකම අරමුණ සරලව ඉදිරිපත් කිරීම තමා. මුල් ලිපි පෙළ සරලව ඉදිරිපත් කිරීමට මේ අඩවියට ලියන හැමෝම උත්සහ කරනවා.. හැබැයි ක්රිමයෙන් මේ අඩවිය දැනුමෙන් පිරෙද්දී සංකීර්ණත්වය කරා යන්න වෙනවා. හැබැයි දැන්ම නෙමේ ඒකට තව දිගු කාලයක් යාවි. එසේ සංකීර්ණ දේ වුණත් හැකි පමණින් සරලව කියා දෙන්න උත්සහ කරනවා. කතෘ මණ්ඩලය වැඩි කරගත්ත වහාම දවසකට එක ලිපියක්වත් පළ කරන්න බලාපොරොත්තු වෙනවා. මමත් ගොඩ කාලෙකින් ලිව්වේ නෑ. ළගඳීම ලියනවා. බොහොම ස්තූතියි ඔබේ වටිනා අදහස් වලට. දිගටම රැදෙන්න කියලා ඉල්ලනවා.

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.