පරිණාමයේ වේදනාව 2 - දෙවන කොටස

හිතවත් මිත්‍රය, ඔබ මා නොහඳුනන බව මම දනිමි. මාද එසේමය. නමුත් මා මෙය ඔබට එවීමට අදහස් කළේ එය මා විසින් කල යුතුමැයි මගේ හදවත මට දන්වන බැවිනි. ඇත්තෙන්ම කෙනෙකුගේ එක්තරා අවසාන ඉල්ලීමක් මම මෙසේ දන්වමි.

එදා ට්‍රෙවෝ හා මා වෙන්ව ගිය මොහොත තෙක් සිදුවූ සියල්ල ඉහතදී ඔබ දැනගන්නට ඇත. ඉන්පසුව සිදුවූ සිද්ධි මාලාව පිළිබඳව මම මෙසේ සටහන් තබමි.

“ඔක්කොම ලෑස්තියිනේ රිකී, යානය සර්ව සම්පූර්ණයිනේ. පුතා ට්‍රෙවෝ එහෙනම් බුදු සරණයි. දෙවි පිහිටෙන් ගිහින් එන්න.” මෝගන් පියෙකු මෙන් ඔහුට ආශිර්වාද කළේය. ට්‍රෙවෝ ඔහුගේ දෙපා අල්ලා වැන්දේය.

සැබැවින්ම මහල්ලා හඬා වැටුණී. “මම දන්නව පුතා. ඔයා මේ ගමන යන්නේ ලෝකය වෙනුවෙනුයි, පැමී වෙනුවෙනුයි කියලා. කිසි දේකට බය වෙන්න එපා. ඔයා දිනනවා.” ඔවුන් දෙදෙනා අපමණ සෙනෙහසින් යුකුව වැළඳ ගත්තෝය.

අප අතර සිටි විහිළුකාරයා රිකී “පුතා මම තමුසෙට වඩා දෙතුන් ගුණයක් වයසයි. ඒ වුණාට තමුසේ මට වඩා ශ්‍රෞෂ්ඨයි.” කියමින් ඔහුව වැළඳ ගත්තේය.

ටෙුවෝ ඔහුට වැදීමට පහත් වුණ මුත්, “නෑ පුතා ඔයා ආපසු එන බව මට විශ්වාසයි ඒ නිසා මට වඳින්න එපා. කවදා හරි දවසක මැරෙන්න යනවනම් අන්න එදාට වඳිනවා.”

රිකීද මහත් සෙනෙහසකින් ආදරයකින් යුතුව ට්‍රෙවෝව වැළඳ ගනිමින් පැවසීය.

ටොම් ෆීලික්ස්ද “මම දැන් වුණත් කැමතියි තමුසේ නතර වෙනවනම්. ඒ වුනත් මම තමුසෙට හදවතින්ම සුභ පතනවා. ජේසුස් වහන්සේගේ පිහිටෙන් තමුසේ ආපහු එනවා.” යැයි කියමින් ඔහුට සමුදුන්නේය.

ස්කයිලැබ්හි සියළුම සේවකයන්ද, ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන ඇමති මණ්ඩලයේ කිහිප දෙනෙක්ද පැමිණ ඔහුගේ මෙම ‍ඓතිහාසික ගමනට සුභ පැතුවෝය.

“පිටත්වීම තව මිනිත්තු 48කින්” පාලක මැදිරියේ හඪනැඟීය.

ඔහු මා දෙස බැලුවේය. “කලබල වෙන්න එපා යාළුවා, එයා එයි. තව වෙලා තියනවනේ.”

“පිටත්වීම මිනිත්තු 40කින්”

“අන්න ඇය.” පැමීගේ සුදුපාට වාහනය ගේට්ටුව ඉදිරියේ නවත්වනු දුටු ට්‍රෙවෝ කෑගැසුවේය.

“එහෙනම් එයා ආවා....” ඔහු තුළ වූ සතුට ඔහුගේ දෑසින් එළියට පැන්නේය.

“දැන්නම් විල්ස් මට මළත් කමක් නෑ.” ඔශු පැවසීය.

“අනේ ට්‍රෙවෝ මට සමාවෙන්න. ඔයා මේ ගමන යන්න එපා ප්ලීස්.” අප ඉදිරියට ආ පැමී හඬා වැටුණාය.

මා විසින් නිපදවනු ලැබූ මේ අසාමාන්‍ය රොබෝව මිනිස් දුවක මෙන් කදුළු සලනු දුටු මා තලද ඇත වූයේ කව නොහැකි වේදනාවකි.

“කමක් නෑ පැමී, අපි ආයේ කවදාහරි හමුවේවි. මේ අසාර්ථක වුණොත් අපි සඳහටම වෙන්වේවි. ඒ වුණාට උපදින හැම ආත්මයකදීම මම ඔයාව බලාපොරොත්තු වෙනවා පැමී. මම ඔයාට ආදරෙයි.”

“අනේ ට්‍රෙවෝ.....” පැමී ට්‍රෙවෝව වැළඳ ගත්තාය. එතම් සංවේදී අවස්ථාවක් මින් පෙර මමම අත් දැක නොතිබිණී.

“පිටත්වීමට විනාඩි 30යි”

“පැමී මම දැන් යන්න ඖනේ.” ඔහු පැමීගෙන් වෙන්වෙමින් පැවසීය.

අනේ ප්ලීස් ට්‍රෙවෝ ඔයා නවතින්න. මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි. අනේ විල්ස් මෙයාට කියන්න.”

ඇය ඒ වදන් පැවසූ ආකාරය, මට ජීවිතයටම අමතක නොවනු ඇත.

“දුක් වෙන්න එපා පැමී, එයා ආපහු එනවනේ....” මට හැකි පමණ මා ඇයව සනසන්නට උත්සහ කළෙමි.


අවසන් වතාවට ඇය වැළඳගත් ට්‍රෙවෝ ඉන්පසු ඈ දෙස නොබලා යානය වෙත ගියේය.

“පැමී අපි යමු කන්ට්‍රෝල් රූම් එකට. අපිට එතනදී ඔක්කොම බලාගන්න පුළුවන්.” ඇය මට හේත්තු වී මා සමඟ පාලන මැදිරිය වෙත ගියාය.

“බය වෙන්න එපා පැමී, මට විශ්වාසයි එයා ආපහු එනවා....”

“පිටත් වීමට තව මිනිත්තු 15යි.” ශබ්ද විකාශකය හඬ නැගීය.

ට්‍රෙවෝ යානය තුලට ඇතුල් විය. සියල්ලෝම නිසි තැන්වල සිට මේ අද්විතීය අවස්ථාවට පූදානම් වූහ.

ට්‍රෙවේ යානය තුළ සියල්ල සූදානම් බව දැන්වීය. “මතකනේ පුතා, වම් පැත්තේ ලීවරය පහළට දාලා ස්විඡ 3ම එකවර... කිසි දේකට බය වෙන්න එපා. ඔක්කොම හරි යනවා. ඔයා එනකම් අපි, එතකොට මේ.... මෙයා.... අපි ඔක්කොම බලාගෙන ඉන්නවා.” රිකී සිය පණිවුඩය යැවීය.

“පිටත් වන්නට තවව මින්ත්තු 2යි.”

“පුතා අපි ඔක්කොම ඔයාට සුභ පතනවා. නිතරම තමාව විශ්වාස කරන්න. ඔයාට මේ දේ කරන්න පුවවන්.” මෝගන්ද සිය අවසාන පණිවිඩය යැවීය.

“පිටත්වීමට තව තත්පර 50... 45.... 40....”

“ට්‍රෙවෝ මම ඔයාට ආදරෙයි.” පාලක මැදිරියේ සියල්ලන් තුළම දයාන්විත හැඟීමක් ඇති කරමින් අසල වූ මයික්‍රෝෆෝනයට පැමී කෑ ගැසුවේය.

මිසයිලය දුම් දමමින් අහස් තලය දෙබෑ කරමින් ඇදී ගියේය. සියල්ලොම ඇසිපිය නොහෙලා බලා සිටියෝය. පැය 8ක් යන තුරුත් කිසිවක් සිදු නොවුණි. ට්‍රෙවෝ සුපුරුදු පරිදි අප හා කථා කරමින් අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් වෙනසක් නොමරතිව ගමන් කළේය.

අවසානයේ ඒ තීරණාත්මක මොහොත එළඹිණි. මුළු ලොවෙහිමත් යුරොපාහිත් සහ මැගලන් වළාවෙහිත් දෑස් යොමු වී තිබුණේ මේ මොහොත දෙසටය. මෙවර වල්ගාතරුවෙන් පෙර මෙන් විකර්ෂණයක් පෙන්නුම් නොකෙරුණි. එය අපගේ සාර්ථකත්වය පිළිබඳ පෙන් වූ මුල්ම සලකුණ විය.

ක්‍රමයෙන් යානය වල්ගා තරුවට ළංවනු පෙනුණි. අප සියළු දෙනාගේම හදවත් මොහොතකට නතර වූ ඒ මොහොත උදා විය. වල්ගාතරුවේ න්‍යෂ්ටියත් ට්‍රෙවෝ සහිත මිසයිලයේ ඝට්ටනයත් සිදු විය. යානය මඳක් සෙලවී ගිය බවක් පෙනුන නමුත් ට්‍රෙවෝටනම් එයින් එතරම් බලපෑමක් සිදුවුණ බවක් නොපෙනුණි.

“හරි පුතා නියමයි. දැන් ඉතිරිටික. තව ටිකයි. තව ටිකයි.... හරි දැන් කො/ලපාට ස්ව්ච් එක.” ටෙවෝට නොඇසෙන බව දැන දැනත් රිකී මැදිරිය තුල සිට මොරදුන්නේය.

මිසයිලය න්‍යෂ්ටියේ මද්‍යයටම පැමිණියේය. ට්‍රෙවෝ බොත්තම් කිහිපයක් ස්පර්ශ කරනු දක්නට ලැබුණි.

යානය තුළ වූ දර්ශන පැනලයේ යමක් සටහන් වනු පෙනුණි.

“චපල නුඹ ගැහැණියයි.” – (විලියම් ෂේක්ස්පියර්)

“අපි සාර්ථකයි” ඔහු මෙතෙක් සඟවාගෙන සිටි ඔහුට මෙලොව ඇති වඩාත්ම වැදගත් දෙය ලෙස වරක් මට පෙන්වූ පැමීගේ ඡායාරූපයත් ගෙන එය පපුවට තබා තද කර ගනිමින් අප දෙස හැරී අතවැනුවේය. එය ඔහුගේ අවසාන සමුගැනීම විය.

“අනේ ට්‍රෙවෝ................”

මිනිස් වර්ගයා අනතුරින් මුදවා ගත් ප්‍රේමයෙන් උමතුව සිටි PAT ට්‍රෙවෝ HUM නම්වූ ඒ අවාසනාවන්ත සයිබොග්වරයා..... ඔබගේ මිතුරා...... වල්ගාතරුවත් සමඟම අපෙන් ‍සඳහටම වෙන් වී ගියේය.

අවාසනාවන්ත ශෝකලාපී විද්‍යා ප්‍රබන්ධයක් බඳු වූ, එහෙත් අපට වර්තමාන යථාර්ථයක් වූ, කෙදිනක හෝ ඔබලාට යථාර්ථයක් වන්නාවූ මේ කතාවේ අවසානයත් සමඟ මම ඔබෙන් සමුගනිමි. මින් මතුවට මටත් ඔබටත් ට්‍රෙවෝ නමින් මිතුරෙකු නොසිටිනු ඇත.

මීට, O. විල්ස් K

෴නිමි෴


මෙම “පරිණාමයේ  වේදනාව 2″  විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක සොයුරාගේ “පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා” ග්‍රන්ථයෙන් උපුටාගෙන නැවත පළ කරන ලද මෘදු පිටපතකි. සියලු උපුටාගැනීම් ඔහුගේ අවසරය මත සිදු විය.

By Pathum Asanka

Comments