සෛල තිරිහන් කිරීම නිසා සදාකාලික යෞවනත්වය මිනිස් දිවියට උදාවේද? ජාන පිළිබඳ පවත්වන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල වලින් පසුව බොහෝ නිරීක්ෂකයෝ බලාපොරොත්තු සහගතව එසේ ඇසූහ.



ඉතිහාසයේ ප්‍රථම වරට සොබාවික රසායනයක් පාවිච්චි කළ විද්‍යාඥයෝ එමඟින් විද්‍යාගාරයක් තුළදී මනුෂ්‍ය සෛලයක ආයුෂ පුදුම සහගත ලෙස වැඩි කළහ.මේ රසායනයම යෙදා අපේ සිරුරේ අග පසග ඇට නහර සම් මස් ලේ ඇතුළු මේ සියල්ල තැනී ඇති සෛල අමරණීය කළ හැකිද? මහලු වීම බාල කළ හැකිද? මිනිස් ආයුෂ දික්කරවිය හැකිද?මේ ආදී වශයෙන් කුතුහලය දනවන ප්‍රශ්න රාශියක් පර්යේෂණය නිසා පැන නැංගේය.

තරුණ සෛලවල දක්නට ඇති අසාමාන්‍ය රසායන ද්‍රව්‍යක් මඟින් සෛල මහලු වීමට එරෙහිව ආරක්ෂාව සපයන බවට බොහෝ කාලයක් තිස්සේ තිබූ සැකය ඇත්තක් බව මේ පර්යේෂණයෙන් ඔප්පු විය.මේ රසායන වර්‍ගය වැඩිහිටි සෛලවල බොහෝවිට දක්නට නොලැබේ.එහෙත් මහලු වීගෙන යන මිනිස් සෛලවලට මේ රසායනය එක්කළ  විට තිරිහන් බවට පත් ඒ සෛල තරුණ ඕජයෙන් පිරී ඉතිරී ගියේය.

ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ නිරිතදිග වෛද්‍ය මධ්‍යස්ථානය සමග එක්ව මෙම සාර්ථක පර්යේෂණ කලේ කැලිෆෝනියාවේ ජීව තාක්ෂණ සමාගමක් වු “ජෙරෝන් කෝපරේෂන්”ය.

“ශරීරයේ ඇති වන ජීව විද්‍යාත්මක මහලු වීම නතර කළ හැකි බව අපි සොයා ගත්තෙමු”යයි පිරික්සුම ගැන උදම් අනන නිරිතදිග ටෙක්සාස් වෛද්‍ය මධ්‍යස්ථානයේ ජෙරී ෂේ පවසයි.

ශරීරයේ ‍සෛල සදාකාලිකව තරුණ බවින්පැවතිය යුතු නම් ඒවා බෙදි බෙදී පැවතිය යුතුය.මෙසේ විද්‍යාගාරයක පිරික්සුම් තලියක් තුළ සදාකාලිකව බෙදෙමින් පවත්නා සෛල ඇති කිරීමත් ශරීරයේ ආයුෂ වැඩිකිරීමත් අතර මහත් වෙනසක් ඇතැයි පර්යේෂණ ප්‍රතිඵල වලින් උද්දාම නොවූ පිරිසක් පැවසූහ.සදාකාලිකව බෙදෙමින් පවතින යෞවන ගුණය ඇති භයානක ස්ථානයක් නම් පිළිකා සෛලය.ඒ නිසා මේ රසායනය මඟින් පිළිකාවලටත් මඟක් කැපේද කියා ඇතැමෙක් බිය පළ කළහ.

සදාකාලික යෞවනය පිළිබඳව මේ උද්යෝගය පැන නැංගේ මිනිස් ශරීරයේ සෛල තුළ ඇති අණුක ව්‍යුහයක් වූ ටෙලොමෙරස් නිසාය.මිනිස් සෛලයක් තුළ ඇති ක්‍රොමසෝම 46 අග,සපත්තු ලේස් පටියක් අග ඇති ප්ලාස්ටික් අන්තය වැනි ස්වරූපයෙන් මේවා පිහිටා තිබේ. ක්‍රොමසෝම වල අග ගෙවී යාම වළකින්නේ මේවා නිසාය.සෛලයක් බෙදෙන හැම වාරයකදීම ටෙලොමෙරස් කොට වෙයි.තරුණ සෛලවල නම් මේ ටෙලොමෙරස්(Telomeres) නම් කොටස ටෙලොමරේස්(Telomerase) නම් රසායන ද්‍රව්‍යක් නැත්නම් එන්සයිමයක් නිසා නැවත වැඩෙයි.එහෙත් මහලු සෛලවල මේ ටෙලොමරේස් නම් එන්සයිමය නැත.එය නැති විට සෛල බෙදීමක් සිදුවන හැම වාරයකදීම ටෙලො‍මෙරස් කොට වෙයි.මේ කොටවීම ඔරලෝසුවක් මඟින් කාලය යන බව කීමක් වැන්න.මේවා කොතරම් කොට වන්නේදැයි කිවහොත් සෛලයේ ක්‍රොමසෝම පැටලී එය බෙදීම නවතී.වෘධභාවයට පත්ව ක්‍රමයෙන් මරණය බලා ගමන් අරඹයි.

මහලු වියට පත්වන මිනිස් සෛලවලට යළිත් ටෙලොමරේස් එන්සයිමය නිපදවීමේ හැකියාව ඇති කළ හැකිනම් ඒවා මියයාම නතර කරවිය හැකිබව බොහෝ කාලයක් තිස්සේ විද්‍යාඥයෝ පළ කළහ.

විද්‍යාගාර තලිවල රෝපිත මිනිස් සෛල වර්ග තුනකට ටෙලොමරේස් යෙදූවිට ඒවා බෙදී අලුත්වන නිශ්චිත කාලයේදී ඒ ක්‍රියාමාර්ගය නතර නොවී දිගටම එය පැවතියේය.නිරිතදිග ටෙක්සාස් වෛද්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් මේ පරීක්ෂණය මෙහෙයවන ලද්දේ ජෙරී ඩබ්ලිව්.ෂේ සහ වුඩ්රිංග් රයිට්ය.ජෙරෝන් කෝපරේෂන් වෙනුවෙන් පර්යේෂණය භාරව කටයුතු කලේ ඇන්ඩ්‍රියා බොඩ්නාර් මයිකල් ඕලට් සහ කැල්වින් බී.හාලිය.

“මේ සෛල අමරණීයභාවයට පත්කොට ඇතැයි අපි සැක කරමු”යි රයිට් උදම් වෙමින් පැවසුවේය.වයසට යාම තුළ සෛල වෘධභාවයට පත්වීමට වඩා වැඩි දෙයක් ඇතිබව කී රයිට් ඇතැම් ඉන්ද්‍රියයන් අනාගතයේදී තාරුණ්‍යයෙන් තබන්නට ටෙලොමරේස් විදීමෙන් හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ප්‍රකාශ කලේය.එහෙත් ශරීරයේ හැම සෛලයක්ම ක්‍රියා කරන්නේ එකම ආකාරයෙන් නොවේ.

මේ නව සොයාගැනීම නිසා සෞඛ්‍ය තත්වය ඉහලින් තබන්නටද ඒ මඟින් ආයුෂ වැඩි කරන්නටද පුළුවන් වනවා සිකුරුයි යන්න ඔහු ප්‍රකාශ කළේය.

ඒත් ටෙලොමරේස් නිසා පිළිකා රෝගය ඇතිවෙයිද?

ජෙරෝන් කෝපරේෂන්හි කැල්වින් හාලි නම් විද්‍යාඥයා කියන්නේ පිළිකා සෛල ඇතිවූ පසුව එය පැවැත්වීමට මිස ඇතිවීමට ටෙලොමරේස් හේතු නොවන බවයි.ඇත්තවශයෙන්ම ටෙලොමරේස් ඇද්දැයි කෙරෙන පරීක්ෂණ මඟින් පිළිකා ඇතිබව සොයාගත හැකිබවද ඔහු පවසයි.මියයන සෛලවලට යොවුන් ඕජයක් දීමෙන් නව ජීවනයට පත්කිරීමට සිදුකෙරුණු මේ සාර්ථක පර්යේෂණය හේතු කොටගෙන අනාගතයේදී මහලුවීමත් සමඟ ඇතිවන හම ඇකිලීම,ඇස් පෙනීම බාලවීම,රුධිර ධමනීන් ගල්වී ඇතිවන වාහිනී රෝගවලට පමණක් නොව පිළිකාවලට පවා පිළියම් සෙවීමට හැකිවනු ඇතැයි වෛද්‍ය විද්‍යාඥයෝ විශ්වාස කරති.

මේ ක්‍රමය යොදා ගනිමින් පිළිස්සුම් තුවාල ලත් රෝගීන්ට ඔවුන්ගේම සෛල ගෙන අලුත් සමක් සාදාගත හැකි යයිද ඔවුහු විශ්වාස කරති. ටෙලොමරේස් නිපදවීම අත්හිටවන බේත් සොයාගැනීමෙන් පිළිකාවලට සාර්ථක ඖෂධයක් සාදාගත හැකි යයිද ඔවුහු සිතති.

අමරණීයත්වය සෙවීමට ඉතිහාසය පුරා ඇල්කෙමිස්ට් නම් ආදී රසායන විද්‍යාඥයෝද,ගවේෂකයෝද,ගූඪවාදීහූද තැත් කළහ.අනාගතයේදී විද්‍යාඥයෝ එය සොයාගනීද?

By Rajith Sameera

 

About the Author

Ali Bajwa
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facebook dolor quam, pretium eu placerat eu, semper et nunc. Nullam ut turpis dictum, luctus mi quis, luctus lorem. Nullam porttitor consectetur nunc in tempor!

Related Posts

0 = ප්‍රතිචාර ගණන

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.