"නමුත් ආචාර්යතුමනි තවම ඔප්පු වෙලා නැහැනේ මේ විශ්වයේ අපි තනි වෙලා කියලා." ලියනාඩෝ තම අතෙහි වූ මයික්‍රෝෆෝනය භාවිතයෙන් ඇසීය.

"ඇයි නැත්තේ, මේ තියෙන්නේ නාසා එකෙන් මට ලැබුනු අළුත්ම වාර්තා. ඒ ගොල්ලෝ කියනවා මුළු විශ්වයම ආවරණය වන විදියට යවපු එන්ඩ්ලස් වොයේජ් යානා ඔක්කොගෙම තොරතුරු ලැබුණා කියලා. ඒවායින් කිසිම අකාරයක ජීවයක්  මේ විශ්වය තුළ පරිණාමය වෙමින් පවතින බවට සාක්ෂි ලැබිලා නැහැ. මීට වැඩිය පරීක්ෂණයක් එයාලට කරන්න බැරිලු. අනිත් එක තව අවුරුදු 1000 ක් හෙවුවත් මීට වැඩිය දෙයක් හොයාගන්න ලැබෙන එකක් නෑ කියලයි එයාල කියන්නේ."

"ඒ වුණත් ආචාර්යතුමනි, වෙනත් පරිමාණ වල ජීවීන් ඉන්න පුවවන් නේද?"

"ඔය කියන්නේ සමාන්තර විශ්ව ගැනනම් මම ඒ සංකල්පය බැහැර කරනවා. මොකද ඒවා ගැන මෙතෙක් අපිට සාක්ෂියක් ලැබිල නැහැ. මමත් බහුමාන සංකල්පය ගැනයි සමාන්තර විශ්ව ගැනයි බොහොම පරීක්ෂණ කරපු කෙනෙක්." දේශකයා පැවසීය.

"නමුත්............." ෆ්‍රෑන්ක් යමක් පැවසීමට උත්සහ දැරීය.

"ඔබ කියන්න හදන්නේ සාක්ෂියක් නොලැබීම කරණ කොටගෙන ඒ විදියට ඉවත දාන්න බැහැ කියලනේ. එහෙම නේද?" දේශකයා ඇසීය.

ෆ්‍රෑන්ක් හිස සැලීය.

"ඔබ හිතපු දේ ඇත්ත තමයි. නමුත් ඔබ දන්නවද මාන අතර සීමාවක් බිඳින්න නියමිත සංඛ්‍යාතයක් ලබාදීමට අති විශාල ශක්තියක් අවශ්‍ය වන බව. ඒවා අපේ අති නවීනතම පරීක්ෂණ වලින් ඔප්පු වෙලා ඉවරයි. ඉතින් ඔබ හිතන්න. අප මිය ගියහම අපේ ශරීරයෙන් බැහැරවන, අප ආත්මය කියලා හදුන්වන භූතාර්ථය කොහොමද බාහිර උදව්වකින් තොරව ඒ වගේ අති විශාල ශක්තියක් ලබා ගන්නේ කියලා." ඔහුගේ ප්‍රකාශයෙන් ෆ්‍රෑන්ක් නිරුත්තර විය.

"එතකොට ඔබතුමා ඒකට දෙන විසදුම මොකක්ද?" ලියනාඩෝ ඇසීය.

"ඒක තමයි විනාශය. ඔව් මහත්මයා ඒක තමයි විනාශය. අප සැමගේම විනාශය." ඔහු කෑ ගැසීය.

රැස්ව සිටි සිය දහස් ගණනක් ජනතාව මහ හඬින් කෑ ගැසුවෝය.

"විනාශය........ ලෝක විනාශය........." ඔවුන්ගේ මුවින් පිට විය. ඔවුන් සියල්ල ආවේශ වූවාක් වැනිය.

"මේ කතාව අහන්නද අපි මෙච්චර දුරක් ගෙවාගෙන මෙහාට ආවේ?" ලියනාඩෝ මඳ කෝපයෙන් යුතුව ඇසීය.

"ලියෝ හිතන්නේ නැද්ද මේ මනුස්සයා කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා?"

"මනස්ගාත...... ෆ්‍රෑන්ක් දන්නවනේ මම බටහිර රටක ඉපදුනත් බුද්ධාගම අදහන මිනිහෙක්. බුදුහාමුදුරුවන්ව විශ්වාස කරනවා... බුදුහාමුදුරුවෝ කිව්වේ සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා කියලා... මේ මනුස්සයා කියන්නේ සියළු සත්ත්වයෝ මිය යත්වා කියලා..." ලියනාඩෝ පෙර වූ කෝපයෙන්ම පැවසීය.

"සියළු සතුන්ගේ දුක් සාමූහිකව නැති කරන්න විදියක් තමයි මේ කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක පුද්ගල විමුක්තිය ගැනනේ." ෆ්‍රෑන්ක් තම මිතුරා සමග පැටලෙමින් පැවසීය.

"මම කියන්නේ මේකයි ලියෝ නිවන කියලා බුදු දහමේ සඳහන් වන ඒ දෙය ගැන පැහැදිලි අවබෝධයක් අපට නැහැනේ."

"ඇයි බුදුහාමුදුරුවෝ, එතකොට ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා, මෙතුමන්ලා ඔක්කොම නිර්වානය අවබෝධ කරගත් අය."

"ඒ අයව ලියෝ දැකල තියෙනවද? එතුමන්ල කිව්වද අපිට නැවත ඉපදීමක් නෑ. මේ අවසාන ඉපදිමයි කියලා. නැහැනේ. ඉතින් ඇයි ඒක විශ්වාස කරන්නේ?"

"අනේ දෙවියනේ මේ මොනවද මේ කියවන්නේ. නිකන් පව් පුරෝගන්න එපා ෆ්‍රෑන්ක්. ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිස්සු හිතින් මවාගත්ත සංකල්පයක් කියලද? කතා කරල වැඩක් නෑ අයිසේ. මිත්‍යා දෘෂ්ඨිකයෝ." ලියනාඩෝ කෝපයෙන් යුතුව යන්නට හැරුණි.

"හරි... හොඳයි අපි කියමුකෝ බුදුහාමුදුරුවෝ කියන්නේ නිකම්ම සංකල්පයක් විතරයි කියලා. ‍ෆ්‍රෑන්ක් ඔහේගේ මුත්තව, මී මුත්තව දැකලා තියෙනවද? නෑනේ. ඒ ගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවද? නෑනේ. ඉතින් එහෙම වුණයි කියලා ඔහේ විහ්වාස කරනවද මුත්තලා මී මුත්තලා හිටියේ නැහැ කියලා. පුළුවන්නම් මට ඒකට උත්තර දෙනවා." යන්නට ගිය ලියනාඩෝ ආපසු හැරී විත් පැවසීය.


"මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් ලියෝ.... ඒක තෙරුම් ගන්නව. මම එහෙම කිව්වේ, බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ඉඳල නැ කියන්න නෙමේ. කෙනෙක් කියපු දෙයක් ගැන අපි මොකටද මේ තරම් විශ්වාසයක් තබාගෙන කල්ප ගානක් ජීවත් වෙන්නේ. මම හිතන්නේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. හරියට බුදුහාමුදුරුවෝ ඉපදෙන්න කලින් මිනිස්සු බුදු දහම ව්‍යාප්ත වෙන්න කලින් ගස් ගල් වලට වැදලා ඒවාට ගරු කරපු මිනිස්සු බුදු දහම ලැබුණට පස්සේ ඒක අනුගමනය කළා වගේ. දැන් අවුරුදු 2500 ක් 3000 ක් විතර අපි මේ ලෝකේ මිනිස්සු බුද්ධාගමයි, හින්දු ආගමයි, ක්‍රිස්තියානි ආගමයි, අනිත් ආගමුයි අදහමින් ජීවත් වුණා කියලා මිනිස්සු වෙනස් වෙලා නැහැනේ. බුදුහාමුදුරුවෝ ඉපදෙන්න කලින් මිනිස්සුන්ට ඒ ප්‍රශ්න වලටම වෙනස් මුහුනුවරකින්ම, සරල වෙලා නැත්නම් තිබුණටත් වැඩිය සංකීර්ණ වෙලා මුහුණ දෙන්න වුණා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවටත් පස්සේ අවුරුදු 2500 ක් 3000ක් ගියත් අපිට ඒ ප්‍රශ්න ඒ විදියටම තියෙනවා. මම කියන්නේ බුද්ධාගම ගැන විතරක්ම නෙමෙයි. අනිත් හැම ආගමකින්ම වුනේ මිනිස්සු ටිකක් ශිෂ්ඨ සම්පන්න බවට පත්වෙලා යම් ක්‍රමයකට ජීවත් වෙන්න පුරුදු වුණා කියලා.ඊට වැඩිය දෙයක් වුණා කියලා මම හිතන්නේ නැහැ."

ලියනාඩෝ උඩබලාගෙන ඇස් පියා ගත්තේය.

"ලියෝ මේක මගේ අදහසක් විතරයි. සමහර විට මම වැරදි වෙනන් පුළුවන්." ෴

"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්‍රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. සේයාරුව PANDAEMONIUM වෙතිනි.

About the Author

Ali Bajwa
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facebook dolor quam, pretium eu placerat eu, semper et nunc. Nullam ut turpis dictum, luctus mi quis, luctus lorem. Nullam porttitor consectetur nunc in tempor!

Related Posts

0 = ප්‍රතිචාර ගණන

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.